Elon Musk | Smiling middle-aged man in a black suit and white shirt, seated on a dark stage, resting his chin on his hand, appearing relaxed and engaged during a public discussion.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන Elon Musk ගේ ව්‍යවසායක අත්දැකීම්වලින් ඔබට වැදගත් වන්නේ මොනවා ද?

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk ඉතා සුවිශේෂී ස්ථානයක් හොබවයි. නමුත් එම ස්ථානයට එන්නට ඔහුට දැඩි කැපකිරීම් කිරීමට සිදු වූ බව ඔබ දන්නවා ද? ඔහුගේ ව්‍යාපාර සාර්ථකත්වයටද දායක වී තිබෙන්නේ ඔහුගේ මුළු කාලය තුලම තම ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තබමින් ඔහු විසින් පුද්ගලිකව ආයෝජනය කරමින් කරන ලද විශාල කැපකිරීම් මතය.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk අද ලෝක ව්‍යාපාර ඉතිහාසයේ අතිශය සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින චරිතයකි. Tesla, SpaceX, Neuralink, X (Twitter) වැනි සමාගම් හරහා ඔහු වාහන කර්මාන්තය, අභ්‍යවකාශ තාක්ෂණය සහ අනාගත ජීවිතය පිළිබඳ මිනිසුන් සිතන ආකාරයම වෙනස් කර ඇත. නමුත් ඔහු අද සිටින ස්ථානයට පැමිණියේ පහසු මාර්ගයකින් හෝ එකවර ලැබුණු සාර්ථකත්වයකින් නොවේ. එය දිගු කාලයක් පුරා සිදු කළ දැඩි කැපකිරීම්, අසාර්ථකත්වයන්, අවදානම් තීරණ සහ තම දැක්ම පිළිබඳ නොසැලෙන විශ්වාසය මත ගොඩනැගුණු ගමනකි.

නොබෝදා Elon Musk ඩොලර් බිලියන 600කට අධික වටිනාකමක් ලබාගත් ලෝකයේ එකම පුද්ගලයා බවට පත්විය. එය මාධ්‍යයේ විශාල කතාබහකට ලක් වුණත්, ව්‍යාපාරිකයින්ට සැබෑ ලෙස වැදගත් වන්නේ එම සංඛ්‍යාව නොව, ඔහු එම සාර්ථකත්වය ගොඩනැගූ ආකාරයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකරුවන්ට, Elon Muskගේ ගමනෙන් ගත හැකි පාඩම් ඉතා වැදගත් වේ.

තම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳ දැඩි අධිෂ්ඨානයක සිටීම

2008 වකවානුවේදී Tesla සහ SpaceX දෙකම දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. Tesla සමාගමට මුදල් හිඟවී, වාහන නිෂ්පාදනය ප්‍රමාදවී, බැංකු සහ ආයෝජකයින්ගෙන් සහාය නොලැබුණු අවස්ථාවක බොහෝ දෙනා Elon Muskට එම ව්‍යාපාර අත්හැර දමන්න උපදෙස් දුන්නා. SpaceX සමාගමත් රොකට් උත්සාහ කිහිපයක්ම අසාර්ථක වූ නිසා, එය වැටී යාමේ අවදානමට ලක්ව තිබුණා.

එවැනි අතිශය අසීරු තත්ත්වයකදී Elon Musk තම පුද්ගලික ආරක්ෂාවත්, ජීවන පහසුකම්ත් පැත්තකට තල්ලු කරමින් PayPal විකිණීමෙන් ලැබුණු මුදල් සියල්ලම Tesla සහ SpaceX දෙකට ආයෝජනය කළා. එක් ව්‍යාපාරයක්වත් සාර්ථක නොවුණොත් ඔහුට නැවත ආරම්භයක් නොමැති තත්ත්වයක සිටියත්, ඔහු තම දැක්ම අත්හැරියේ නැහැ. අවසානයේ SpaceX එකක් සාර්ථකව රොකට් එකක් උඩට යැවූ විට, Tesla සමාගමත් නැවත ජීවිතයට පැමිණියා.

මෙයින් අපට පැහැදිලිව ඉගෙන ගත හැක්කේ, ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට මුලින්ම අවශ්‍ය වන්නේ මුදල් හෝ සම්පත් පමණක් නොව, දැඩි අධිෂ්ඨානයක් සහ තම අදහස පිළිබඳ ගැඹුරු විශ්වාසයක් බවයි.

අසාර්ථකත්වය අවසානයක් ලෙස නොදැකීම

Elon Muskගේ ව්‍යාපාර ගමන අසාර්ථකත්වයෙන් පිරිපුන් එකකි. SpaceX රොකට් කිහිපයක්ම අහසේදී පිපිරුණා. Tesla නිෂ්පාදන ඉලක්ක නැවත නැවතත් බිඳ වැටුණා. මාධ්‍ය ඔහුව දැඩි ලෙස විවේචනය කළා. සමහර ආයෝජකයින් ඔහු පිළිබඳ විශ්වාසය අහිමි කළා.

නමුත් Elon Musk අසාර්ථකත්වය “අවසන් තීරණයක්” ලෙස දුටුවේ නැහැ. ඔහු ඒවා ඉගෙන ගන්නා අවස්ථා ලෙස භාවිතා කළා. සිදු වූ වැරදි හඳුනාගෙන, ඒවා නිවැරදි කරමින්, නැවත උත්සාහ කළා. අද SpaceX NASA සමඟ පවා එකට කටයුතු කරන, ලෝකයේ විශ්වාසනීයම අභ්‍යවකාශ සමාගම් අතරට පැමිණ තිබෙන්නේ මේ ආකල්පය නිසාය.

ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරයක් අසාර්ථක වූ විට, ඒක තම ජීවිතයේ අවසානයක් ලෙස දකින්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් Elon Muskගේ ගමන අපට කියා දෙන්නේ, අසාර්ථකත්වය ව්‍යාපාරික ජීවිතයේ සාමාන්‍ය කොටසක් බවත්, එය නිවැරදිව භාවිතා කළහොත් ශක්තියක් බවත්ය.

දිගු කාලීන දැක්මක් සහ අරමුණක් තිබීම

Elon Musk කාලීන ලාභයට වඩා දිගු කාලීන බලපෑමක් ගැන සිතා කටයුතු කරන ව්‍යාපාරිකයෙකි. Tesla සමාගම වාහන විකිණීම පමණක් නොව, ලෝකය sustainable energy වෙත හැරවීම අරමුණ කරගනී. SpaceX සමාගම මාර්ස් ගමන් කිරීම වැනි අදටත් අභියෝගාත්මක, නමුත් දීර්ඝ කාලීන දැක්මක් පසුපස හඹා යයි.

මෙවැනි දිගු කාලීන දැක්මක් තිබීම ඔහුට කාලීන අර්බුධ, විවේචන සහ මන්දගාමී ලාභ ඉවසන්න ශක්තිය ලබාදුන්නා. ව්‍යාපාරයක් පටන් ගන්නා විට, “මේ මාසයේ ලාභය කීයද?” යන්නට පමණක් නොව, “වසර පහකට හෝ දහයකට පසු මගේ ව්‍යාපාරය කොතැනද?” යන්න ගැන සිතීම ඉතා වැදගත්ය.

Elon Muskගෙන් අපට ගත හැකි මූලික පාඩම්

Elon Muskගේ ජීවිතය අපට පැහැදිලිව කියා දෙන්නේ, සාර්ථකත්වය පහසු මගකින් නොලැබෙන බවයි. එය කැපකිරීම්, අවදානම් තීරණ, අසාර්ථකත්වයන් සහ තම අදහස පිළිබඳ නොසැලෙන විශ්වාසය මත ගොඩනැගෙන්නකි. ඔබ ලොකු ව්‍යාපාරයක් කළත්, කුඩා ව්‍යාපාරයක් කළත්, මෙම මූලධර්ම ඔබටත් සමාන ලෙස අදාළ වේ.

අසාර්ථකත්වයට බිය නොවී, දිගු කාලීන දැක්මක් සහිතව, තම ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම කැපවෙන්න ඔබට හැකි නම්, ඔබටත් ඔබේම සාර්ථක ව්‍යාපාර කතාවක් ගොඩනැගීමට හැකි වේ.

Elon Muskගේ ව්‍යාපාර ගමන අපට කියා දෙන්නේ දැඩි අධිෂ්ඨානය, අසාර්ථකත්වයට බිය නොවීම, සහ දිගු කාලීන දැක්මක් ඇතිව කටයුතු කිරීම සාර්ථකත්වයට මූලික බවයි.

Elon Muskගේ ගමනෙන් ව්‍යාපාරිකයින්ට ගත හැකි පාඩම්

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest